සංස්කෘතික ක්‍රියාකාරකම්

සිංහල සංස්කෘතිය තුළ දැරියක් හෝ දරුවෙක් පෙරදිග නැටුම් පාසලකින් අධ්‍යාපනය ලබා අවසන් වූ පසු ඔවුන්ගේ මංගල කලඑළි රංගනය ඉදිරිපත් කෙරෙන්නේ සිය දෙමාපියන් ඉදිරියේ බොහෝවිට ශුද්ධ භූමියක පවත්වනු ලබන අලංකාර වූත්, චිත්තාකර්ෂණීය වූත් උත්සවයක් සමඟය. මෙවැනි කටයුත්තක් සඳහා කළුතර බෝධියේ ඇති පූජනීය පරිශ‍්‍ර භූමිය තරම් සුදුසු තවත් තැනක් තිබිය නොහැකි තරම්යෟ සිය ප‍්‍රථම රංගනය ඉදිරිපත් කරන ගැහැනු සහ පිරිමි යන දෙපිරිසේම නවකයින්ගෙන් සමන්විත නැටුම් ශිල්පීන් සමූහයක්, නැවුම් සහ ළපටි පොල් කොළ හෙවත් ගොක් කොළවලින් වියාගත් තටු මත තැබූ සිය සංකේතමය පූජාවන් පාද තුනක් සහිතව විශේෂයෙන් සැකසූ තට්ටුවක් මත තැන්පත් කරමින් කලාවේ සංකේතකරණයන් ලෙස සැලකෙන දෙවිවරුන්ට ඒවා පිරිනමති.

ගැහැනු ළමුන්ගේ කෙස් කළඹ උඩු අතට නවා ගැට ගසනු ලැබේ. ඔවුහු නැටුම් ඉරියව්වකින් සිය දෙමාපියන් ඉදිරියේ දණ ගසති. කිසියම් රටාවකට අනුව ගැට ගසන ලද දැරියගේ කෙස් කළඹ මත මව විසින් ශීර්ෂ ආභරණය තබනු ලැබේ. මෙම අවස්ථාව සිංහල බසින් හඳුන්වනු ලබන්නේ පායින්පත් පැළඳවීම යනුවෙනි.

පිරිමි ළමයිද කිසියම් නර්තන ලීලාවක් පාමින් සිය දෙමාපියන් ඉදිරියේ දණ ගසති. පියා විසින් පුතාට රංග වස්ත‍්‍රාභරණ පළඳවමින් වෙස් ආභරණ පැළඳවීම සිදු කරනු ලබයි. තාරකා ශාස්ත‍්‍ර විද්‍යාව හෙවත් නක්ෂත‍්‍රානුකූලව තීරණය කරනු ලබන සුබ මොහොතකදී මංගල වෙස් තට්ටුව පළඳවනු ලබයි. දෙමාපියන්ට සහ පැරැන්නන්ට ණයගැතිභාවය ප‍්‍රකාශ කරමින්ද, මවගේ ළය ම`ඩලෙන් සහ පියාගේ නළල් තලයේ දහබිªවෙන් ලද සවි බලය අගයමින්ද මියුරු සරින් සමූහ සජ්ඣායනාවන් පැවැත්වෙයි.

ඉන් අනතුරුව ජනතාව ඉදිරියේ නැටුම් ඉදිරිපත් කිරීමට දරුවන් විසින් දෙමාපිය ආශිර්වාදය ඉල්ලා සිටිනු ලැබේ. සුබ මොහොත එළඹෙන විට බෙර වාදනය උච්ඡුස්ථානයක් කරා ළඟා වන අතර, සෑම මවක හෝ පියෙකු විසින්ම සන්සුන් විලාසයකින් ශිර්ෂ ආභරණය හෝ වෙස් තට්ටුව පැළඳවීමේ සිය කාර්යභාරය ඉටු කරනු ලබයි. එය මාපියන්, දරුවන් සහ නරඹන්නන් යන සෑම අයෙකුගේම වත තුටු කඳුළින් තෙත් වන ඉතා හැඟීම්බර මොහොතකි. නැටුම් ගුරුවරුන් සහ ගුරුවරියන් නැමඳීම සඳහාද අවස්ථාවන් උදා වෙයි. බෞද්ධ වත්පිළිවෙත් පදනම් කරගත් මෙම සමස්ත අවස්ථාව පුරාම දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කෘතවේදී වීම පිළිබඳ අදහස්, සාරධර්ම පිළිබඳව බුදුන් වහන්සේගේ විශිෂ්ටතම දේශනා සහ ඉහළම සමාජ චාරිත‍්‍රවාරිත‍්‍ර මෙන්ම සිංහල සංස්කෘතියේ අංග පිළිබඳ කරුණු යනාදිය මුසුව පවතී.

උපසම්පදා පුණ්‍යෝත්සවය

පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසුව අවුරුදු 20ට වැඩි වයසින් යුතු ආධුනික භික්ෂූන් වහන්සේලා (සාමනේර හිමිවරු* උසස් පැවිදි දිවියට සුදුසුකම් ලැබීම ස`දහා අවසර ඉල්ලා සිටිති. මෙම තත්ත්වය පිරිනැමීම සිදු කරනු ලබන්නේ උපසම්පදාව ලෙස හැඳින්වෙන පුණ්‍යෝත්සවයක දීය. මෙම පුණ්‍යෝත්සවය මඟින් උන්වහන්සේලා සංඝයා වහන්සේලාගේ හෙවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් සංඝ සමාජයේ උසස් මට්ටමට උන් වහන්සේලාගේ ප‍්‍රවේශය සනිටුහන් කෙරෙයි. එය නීතිරීති සහ ඇවතුම්පැවතුම් දහස් ගණනක් ඇතුළත් වන ඉහළම විනය සංග‍්‍රහයයි.

වර්ෂ 1964 සිටම කළුතර බෝධියේ උපසම්පදා පූජ්‍ය මංගල්‍යයන් පවත්වනු ලැබ ඇත. මෙම පුණ්‍යෝත්සවය පැවැත්වීම සඳහා ගඟක හෝ වෙනත් ජලාශයක දිය මත සීමාමාලකය නමැති වේදිකාවක් තනා ඒ මත එය අලංකාර ලෙස සරසනු ලබන මණ්ඩපයක් නිර්මාණය කරනු ලබයි. උපසම්පදා උත්සවය පැවැත්වෙන්නේ මෙම මණ්ඩපය තුළය. ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකාය තම නිකායේ සියලූ පාර්ශවවලට අයත් සාමණේර භික්ෂුන් වහන්සේලා සඳහා පුරාණ චාරිත‍්‍රයක් වූ මෙම විනය කාරිය 2017 වර්ෂයේ ජූනි 25 වැනි දින කළුතර බෝධි පරිශ‍්‍රය තුළ සිදු කරන ලදී. අති උත්කර්ෂවත් අන්දමින් පැවැති මෙම පූණ්‍යෝත්සවය පුරා දින අටක් පැවතිණි. එහිදී සාමණේර භික්ෂුන් වහන්සේලා 200 නමකට අධික සංඛ්‍යාවක් ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලාගේ ආශීර්වාදය මැද උපසම්පදා ලැබූහ.

බුදුන් වහන්සේගේ දෑඅගසව් හෙවත් අග‍්‍රශ‍්‍රාවක ධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනය කිරීම

වර්ෂ 2008 මැයි මාසයේ පැවැති වෙසක් සැමරුම් උලෙළේ අංගයක් ලෙස කළුතර බෝධි භාරකාර අරමුදල මඟින් බුදුන් වහන්සේගේ අග‍්‍රශ‍්‍රාවකයින් වූ සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහ රහතුන් වහන්සේලාගේ අති උතුම් ධාතු ප‍්‍රදර්ශනය පවත්වනු ලැබිණි. ඉන්දියාවේ සාංචි ස්ථූපයේ සිදු කරන ලද කැණීම්වලදී මෙම ධාතූන් වහන්සේලා සොයාගනු ලැබුවේ ඉන්දියාවේ සේවය කළ ඇලෙක්සැන්ඩර් කනින්හැම් නමැති සුප‍්‍රකට පුරාවිද්‍යාඥයා විසිනි. එම ධාතූන් වහන්සේලාගෙන් කොටසක් 1955 වසරේදී ඉන්දියානු රජය විසින් ශී‍්‍ර ලංකාවට තිළිණ කරනු ලැබිණි. දේශීය සහ විදේශීය බෞද්ධයින්ට වැඳපුදාගැනීම පිණිස එම ධාතූන් වහන්සේලා කොළඹ මහා බෝධි අග‍්‍රශ‍්‍රාවක විහාරයේ සුරක්ෂිතව තැන්පත් කොට තිබේ.

එවැනි ධාතු ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට අවසර ලද මුල්ම සංවිධාන අතරින් එකක් බවට පත්වීමේ විරළ ගෞරවය සහ වරප‍්‍රසාදය කළුතර බෝධි භාරකාර අරමුදලට හිමි වූ අතර, එම පූජනීය ධාතූන් වහන්සේලා වැඳපුදාගැනීමට බැතිමතුන් දහස් ගණනක් කළුතර බෝධියට රැස් වූහ.

පෝය දින සහ සති අන්තවල සිල් සමාදන් වන බැතිමතුන් සඳහා දහවල් දානය

පෝය දිනවල බැතිමතුන් 2,000 සිට 5,000 දක්වා වූ පිරිසක් කළුතර බෝධි පරිශ‍්‍රයේ සිල් (අමතර සිල්පද තුනක් සහිත අට සිල්* සමාදන් වෙති. එයට අමතර වශයෙන් කළුතර බෝධිය සතිඅන්ත භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා පවත්වනු ලබයි. මෙම වැඩසටහන්වලට සහභාගි වන බැතිමතුන් සඳහා දිවා ආහාරය දානයක් පිරිනැමෙයි.

බොහෝවිට එවැනි දාන පිරිනැමෙන්නේ ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන වියළි සලාක ලබාදෙනු ලබන, හෝ සම්පූර්ණ ආහාර වේල හෝ එයින් කොටසක් සඳහා වියඳම් දරනු ලබන දානපතීන් විසිනි. දානය සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමට දානපතියෙකු හෝ බැතිමතෙකු ඉදිරිපත්ව නැති විටෙක දානය පිරිනැමීමේ සම්ප‍්‍රදාය නොකඩවා පවත්වාගෙන යෑම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල ඒ සඳහා අරමුදල් සපයනු ලබයි.

මස් මඩුවලින් ගවයින් නිදහස් කරගැනීම

ගව ඝාතනය වළකමින් අභයදාන සංකල්පය හෙවත් ජීවිත දානය/බිය දුරුකිරීම අරමුණු කරගනිමින් පින් කැමැත්තන් විසින් ගව ඝාතන මඩුවලින් ගවයින් නිදහස් කරගැනීම සඳහා මුදල් ආධාර ලබාදෙනු ලබයි. එසේ නිදහස් කරගන්නා ගවයින් ඉන් අනතුරුව ගව බැංකුවක් මඟින් දිළිඳු ගම් වෙත නිදහස් කර හරිනු ලැබෙයි. සෑම ගවයෙකුගේම හිස මත අංකයක් සටහන් කෙරෙන අතර, මෙම ගවයින් හිමි කරගන්නා අය කිරි විකිණීම, ඔවුන් සිය ගොවිතැන් කටයුතු සඳහා යොදාගැනීම යනාදිය මඟින් ජීවිකාව සරු කරගනිති. නිදහස් කරගනු ලබන ගවයින් ප‍්‍රධාන වශයෙන්ම තන්තිරිමලයට ගෙන යනු ලබන අතර, එහිදී ඔවුන් විලච්චිය සහ මැදවච්චිය වැනි ගම්වල ගොවීන්ට ලබාදෙනු ලැබේ.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ පිළිරුවක් කතරගමදී විවෘත කිරීම

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා කතරගම පුදබිමේ සංවර්ධන ව්‍යාපෘති ඇරැඹීමට පුරෝගාමී විය. එතුමා විසින් මෙම ප‍්‍රදේශයේ සිදු කරන ලද සමාජ සුබසාධන වැඩ කටයුතු මඟින් කතරගම කෙරෙහි එතුමන් තුළ පැවැති භක්තිය සහ කැපවීම නිරූපණය වන අතර, ඒ අතරින් බොහොමයක් එතුමන් විසින් අරඹන ලද්දෙ මේ පුදබිමට වැඩි අගයක් එක් කිරීම සඳහාය. ශී‍්‍රමත් සිරිල් විසින් මෙහි වන්දනාකරුවන් සඳහා ගිමන්හලක් සඳහාද අරමුදල් යොදවනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රියතම වන්දනා ස්ථාන අතරින් එකක් වන, කතරගම පිහිටි ඉපැරණි දාගැබක් වන කිරි වෙහෙර පිළිසකර කිරීම සිදු කෙරුණේ එතුමන්ගේ මූලාක දායකත්වයෙනි. කළුතර බෝධිය කෙරෙහි පැවැති තරමටම භක්තියක් පළ කරමින් කිරි වෙහෙර පිළිබඳව සිය අවධානය යොමු කළ ශ්‍රීමත් සිරිල් කිරි වෙහෙර ප‍්‍රතිසංස්කරණ සමිතිය පිහිටුවීමටද පියවර ගත්තේය. මෙම වෙහෙර සහ එහි පරිශ‍්‍ර භූමිය කාලයත් සමඟ ඝණ කැළෑවෙන් වැසී ගොස් තිබුණු අතර, කොත් කැරැල්ල හැර අන් කිසිවක් දැකගත නොහැකි තත්ත්වයට පත්ව තිබිණි. පුරාණ ඉතිහාස වංශ කතා සටහන් අතර මේ වෙහෙර පිළිබඳ වග විස්තර නිවැරදිව සඳහන්ව තිබිණි. එම විස්තරවලට හරියටම ගැලපෙන නිර්මාණ සැකිල්ලක් කැණීම්වලදී හමු විය. එය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියට විශාල වශයෙන් උපකාරී විය. ශී‍්‍රමත් සිරිල් මැතිතුමන්ගේ අරමුණ ඉතා සාර්ථක අයුරින් ඉටු වූ අතර, පිළිසකර කරන ලදුව ආරක්ෂිත කොතක් පළඳන ලද කිරි වෙහෙර එවක අගමැතිතුමන්ව සිටි ගරු ඩඞ්ලි සේනානායක මැතිතුමන් අතින් 1970 ඔක්තෝබර් 26 වැනිදා විවෘත කෙරිණි.

කතරගම පුදබිම වෙනුවෙන් ශී‍්‍රමත් සිරිල් විසින් ඉටු කරන ලද සේවාව සැමරීම සඳහා ඉදි කළ එතුමන්ගේ පිළිරුව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනාවෙන් ගරු කතානායක ඩබ්ලිව්. ජේ. එම්. ලොකුබණ්ඩාර මැතිතුමන් විසින් 2009 මැයි මාසයේදී විවෘත කෙරිණි.

කතරගමදී දානය පිළිගැන්වීමක්

කතරගමදී ශී‍්‍රමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ පිළිරුව විවෘත කිරීමේ අවස්ථාව සංකේතවත් කිරීම සඳහා කිරි වෙහෙර චෛත්‍ය භූමියේදී පිරිත් පින්කමක්, පහන් පූජාවක් සහ නෙළුම් මල් පූජාවක් පැවැත්විණි.

ඉන් අනතුරුව වැඩම කර සිටි සියලූ භික්ෂුන් වහන්සේලාට දානයක්ද පිළිගැන්විණි. උන් වහන්සේලාට සාම්ප‍්‍රදායික සැඳෑ ගිලන්පස සමඟ සිවුරු පිරිකර සහ බෞද්ධ පොත්ද පිරිනමනු ලැබිණි.

වස්කඩුව භාවනා මධ්‍යස්ථානය

වස්කඩුවේ ඉන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් සැදැහැ සිතින් පරිත්‍යාග කරන ලද අක්කර පහක ඉඩමෙහි භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවීමට කළුතර බෝධි භාරකාර අරමුදලට හැකි වනු ඇත.

කළුතර නගරයෙන් ඊසානදිගට වන්නට, කළුතර බෝධියේ සිට කිලෝමීටර් 3ක් දුරින් මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත. ද සිල්වා මහතා විසින් මෙම ඉඩම පරිත්‍යාග කරනු ලැබුවේ මිය පරලොව ගිය සිය දෙමාපියන් සහ දරු දෙදෙනාට පින් පිණිසය. ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම ඉඩමේ වත්මන් වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 50කට වැඩිය.

වෙනත් ක්‍රියාකාරකම්

කළුතර බෝධි භාරකාර අරමුදල විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, බැතිමතුන්ට සහ පන්සල් ඇතුළු සිද්ධස්ථානවලට සේවාවන් සපයමින් විශාල වැඩ කොටසක්ද ඉටු කරනු ලබයි.

වන්දනාමාන ස්ථාන ඉදිකිරීම සහ අලූත්වැඩියා කිරීම සඳහා මූල්‍ය ආධාර සැපයීමේ සිට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමාන, සිවුරු පිරිකර සහ සෞඛ්‍ය සේවාවන් සැපයීම මෙන්ම පෙරහැර, පැවිදි කිරීමේ උත්සව වැනි ප‍්‍රධාන උත්සව අවස්ථා සඳහා සහාය ලබාදීම දක්වා කටයුතු රැසක් මෙයට අයත් වෙයි.

කළුතර බෝධි භාරකාර අරමුදල අරඹා ඉටු කරන ලද කටයුතු මේ වන විට එහි ආරම්භක අවධියේ පැවැතියාට වඩා විශාල වශයෙන් පුළුල් වී ඇති අතර, සේවාවන් ලබන්නන් සහ ප‍්‍රතිලාභීන් හඳුනාගැනීම සිදු කෙරෙන්නේද ජාති හෝ වර්ග භේදයකින් තොරවය.