ශ්‍රීමත් සිරිල් ද සොයිසා, වී. ටී. ද සොයිසා සහ චූලක ද සොයිසා ශිෂ්‍යත්ව අරමුදල

ශ‍්‍රීමත් සිරිල් දසොයිසා, වී. ටී. ද සොයිසා සහ චූලක ද සොයිසා අනුස්මරණය කරනු පිණිස පවුලේ සාමාජිකයින් විසින් 1996 නොවැම්බර් මාසයේදී මෙම අරමුදල අරඹා ඒ සඳහා මුදල් යොදවනු ලැබිණි. මෙහි අරමුණ වන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා සහිත තත්ත්වයන් හේතු කොටගෙන සිය මූලික සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වන අධ්‍යාපනය අහිමි කරගැනීමට ඉඩ ඇති දරුවන්ට අධ්‍යාපනය ලබාදීමය.

ප‍්‍රාථමික සහ ද්විතියික මට්ටම්වල සිසු දරුදැරියන් අතරින් තෝරාගත් පිරිස් සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල ඔස්සේ අඛණ්ඩව මූල්‍ය ආධාර පිරිනැමීම සිදු කෙරෙයි.

ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම

ඉතිහාසය පිළිබඳ ප‍්‍රාමාණික විද්‍යාර්ථිනියක වූ මෙත්තා ප‍්‍රනාන්දු මහත්මියගේ සේවාවන් ලබාගනිමින් කළුතර බෝධි භාරකාර අරමුදල විසින් ලක්දිව බුදුසසුනට පසුබිම් වූ ඉතිහාසය නමින් පොත් පිංචක් සැකසීමට කටයුතු කළේය. බෝධි භාරකාර අරමුදලේ බෝධිමඟ පදනම මඟින් එය සැකසීම සහ පළ කිරීම කරගත හැකි වූයේ ප‍්‍රධාන වශයෙන්ම අපගේ භාරකරුවන් අතරින් අයෙකුගේ සුවිශේෂී කැපවීම නිසාය. කොළඹ විශ්විද්‍යාලයේ ඉතිහාස අංශ ප‍්‍රධානී තනතුර දැරූ ආචාර්ය ලෝනා ප‍්‍රනාන්දු මහාචාර්යවරිය විසින් එය මනාව අධීක්ෂණය කරනු ලැබීය. මෙම පොත් පිංච අතිරේක කියවීම් පොතක් ලෙස වැදගත් වන්නකි. එය පාසල් සහ පුස්තකාල අතර බෙදාහැරීම සඳහා අධ්‍යාපන සහ ආගමික කටයුතු අමාත්‍යංශවල සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. රු. 190කට මිල කළ හැකි මෙම පොත විශේෂ අවස්ථාවන්වලදී රු. 100කට ලබාගත හැකිය.

ශිෂ්‍යත්ව වැඩසටහන

විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබන සිසු දරුදැරියන් අතරින් තෝරාගනු ලබන අයට ඔවුන් සිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කරන තුරු මේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මූල්‍ය ආධාර සැපයෙයි.

අ.පො.ස. උසස් පෙළ හදාරන සිසු දරුදැරියන්ද ආවරණය වන පරිදි මේ වැඩසටහන මේ වන විට පුළුල් කරනු ලැබ ඇත.

කළුතර දිස්ති‍්‍රක්කයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ ශ්‍රේණියේ සාමාර්ථ හතක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් (75%ට වැඩි සාමාන්‍යයක්* ලබාගත් සිසු දරුදැරියන්ට මෙමඟින් මූල්‍ය ආධාර සැපයෙයි.

ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ වැඩසටහන

දක්ෂ මෙන්ම අවශ්‍ය කුසලතා සහිත වුවද ඉංග්‍රිසි බස හැසිරවීමේ හැකියාව නොමැති වීම නිසා සුදුසු රැකියා ලබාගැනීමට අසමත් වීම රැකියා අපේක්ෂිත තරුණ පිරිස් මුහුණ දෙන බරපතළ ගැටලූවක් බව කළුතර බෝධි භාරකාර අරමුදල විසින් හඳුනාගනු ලැබිණි. මේ ගැටලූව විසඳීමට සහාය වීම සඳහා ඉංග්‍රිසි භාෂා වෘත්තිකයින්ගේ සංගමය සමඟ එක්ව කළුතර බෝධි භාරකාර අරමුදල විසින් 2004 වසරේදී ඉංග්‍රිසි භාෂාව උගැන්වීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබිණි.

කළුතර දිස්ත්‍රික්කය පුරා මධ්‍යස්ථාන 44ක මේ පංති පැවැත්වීම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල විසින් බෝධිමඟ පදනමට (කළුතර බෝධි භාරකාර අරමුදලේ අනුබද්ධ ආයතනයකි* වෙන් කරනු ලබයි. සිසු දරුදැරියන් 1,000කට පමණ මෙමඟින් ඉංග්‍රිසි භාෂා අධ්‍යාපනය ලබාදෙනු ලැබේ. සෑම වසරකම අවසානයේදී, රජයේ අධ්‍යාපන අධිකාරීන් විසින් පවත්වනු ලබන විභාග අනුව සැකසුණු කථන සහ ලිඛිත පරීක්ෂණ පවත්වනු ලැබේ. අදාළ ප‍්‍රතිඵල මත පදනම්ව සිසු දරුදැරියන්ට නිපුණතා සහතික මෙන්ම තිළිණද පිරිනැමෙයි. වෙනත් ප‍්‍රදේශවල ඉල්ලූම සහ නිපුණ ගුරු භවතුන් සපයාගැනීමේ හැකියාව අනුව මේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක වලද ක්‍රියාත්මක කිරීමට කළුතර බෝධි භාරකාර අරමුදල අපේක්ෂා කරයි.

ඉංග්‍රිසි දින වැඩසටහන

ඉංග්‍රිසි භාෂා වෘත්තිකයින්ගේ සංගමයේ සහයෝගීතාව සහ කළුතර බෝධි භාරකාර අරමුදලේ ක‍්‍රමසම්පාදන සහාය ඇතිව බෝධිමඟ පදනම විසින් ඉංග්‍රිසි දින වැඩසටහන්ද පවත්වනු ලබයි. රැකියා සොයාගැනීම හෝ සමාජ වටාපිටාව තුළ පිළිගැනීම සහ නිසි තැන හිමි කරගැනීම යනාදී අවශ්‍යතා සඳහා අපගේ තරුණ පිරිස් සඳහා බෙහෙවින්ම වැදගත් වනසාධකයක් ලෙස ඉංගී‍්‍රසි නිපුණත්වය සැලකිල්ලට ගැනෙන බව පෙනෙන්නට තිබේ. භාෂාව සහ සංස්කෘතිය එකිනෙකින් වෙන් කළ නොහැකි ඒවා මෙන්ම භාෂාවක් උගැන්විය හැකි හොඳම ක‍්‍රම අතරින් එකක් වන්නේ භාෂාවක් භාවිතයට පැමිණී පසුබිමෙහි ඇති සංස්කෘතික කාරණා සහ ගතිසිරිත් යනාදියට සිසු දරුදැරියන් හුරු කරවීම වන බවද ඉංගී‍්‍රසි භාෂා වෘත්තිකයින්ගේ සංගමය සහ කළුතර බෝධි භාරකාර අරමුදල අවබෝධ කරගෙන සිටියි. ඒ අනුව ඉංග්‍රිසි ගීත ගායනා කිරීම, ඉංග්‍රිසි නාට්‍ය රඟදැක්වීම හෝ බටහිර නැටුම් සඳහා සිසු දරුදැරියන් පුහුණු කරවීම සඳහා පියවර ගැනෙයි.

කළුතර බෝධි භාරකාර අරමුදලේ සේවක සේවිකාවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව

මෙය ‘අප වෙනුවෙන් අප’ ආකාරයේ වැඩක් බව එක් වරම පෙනී යා හැකි වුවද, අවශ්‍යතාව සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේදී මෙහි වැදගත්කම සුළු කොට තැකිය නොහැකිය. සිය දරුවන් මෙම ශිෂ්‍යත්ව මඟින් ප‍්‍රතිලාභ ලබන විට එම සේවක පිරිස්වලට කළුතර බෝධි භාරකාර අරමුදල විසින් සිදු කරනු ලබන වැඩකටයුතු පිළිබඳව මෙන්ම ‘මෙහෙය, සුවය සහ සවිය’ පිළිබඳ ප‍්‍රතිපත්ති කෙරෙහි එය දක්වන කැපවීම සම්බන්ධයෙන්ද දැඩි ප‍්‍රසාදජනක හැඟීමක් සහ අවබෝධයක් ලැබෙනු ඇත

සාමණේර හිමිවරුන්ට පෙළ පොත් ප‍්‍රදානය කිරීම

පොදුවේ සලකන විට පුහුණුව ලබන තරුණ ආධුනික භික්ෂුන් වහන්සේලා වන සාමනේර හිමිවරුන්ට පාලි භාෂා, ති‍්‍රපිටක සහ සංස්කෘත දැනුම ප‍්‍රමාණවත් පරිදි නොලැබීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලා කලක සිටම සිය කනගාටුව පළ කරමින් සිටියහ.

අතීතයේදී භික්ෂූන් වහන්සේලා පන්සල් පිරිවෙන් ඇසුරෙහි අධ්‍යාපනය ලබමින් අදාළ අධ්‍යයන අංශවල අවශ්‍ය ප‍්‍රාමාණික මට්ටම සපුරාගත්හ. මෑත කාලයේදී එම ප‍්‍රමිතීන් පහත වැටීමට බලපෑ එක් හේතුවක් වන්නේ පිරිවෙන් සිසුන්ට අවශ්‍ය පෙළ පොත් සහ අතිරේක කියවීම් ද්‍රව්‍ය සපයාගැනීමට අවස්ථා හිඟ වීමය.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස, සාමනේර භික්ෂූන් වහන්සේලා සඳහා පෙළ පොත් සහ අනෙකුත් අධ්‍යාපන අවශ්‍යතා සැපයීමට කළුතර බෝධි භාරකාර අරමුදල 1999 වසරේදී තීරණය කළේය. එදා සිට භික්ෂුන් වහන්සේලා 3,000කට වැඩි පිරිසක් මෙම ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභලාභීන් බවට පත්ව සිටිති.

යුද්ධයෙන් අනාථ වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව

ආසන්න වශයෙන් දශක තුනක් තිස්සේ මෙරට ගොදුරු කරගෙන සිටි විනාශකාරී අභ්‍යන්තර ගැටුම විශාල වශයෙන් පැවැතියේ ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර කලාපවලය. මෙමඟින් ඛේදජනක ලෙස පවුල් බිඳී විසිරී ගියේ බොහෝ දරුවන්ට අඩුම තරමින් මව හෝ පියා අහිමි කරමිනි. බොහෝ අවස්ථාවලදී අනතුරට පත් මව හෝ පියා පවුලේ ප‍්‍රධාන හෝ එකම ජීවිකාව සැපයූ තැනැත්තා හෝ තැනැත්තිය විය. අවසාන ප‍්‍රතිඵලය ලෙස අධ්‍යාපනය අහිමි වී යෑමේ අනතුරට මුහුණ පෑමට සහ බොහෝ විට පවුලේ ආර්ථිකය පවත්වාගැනීමට සහාය වීම සඳහා සුළු රැකියාවන් සොයාගැනීමට මේ දරුවන්ට සිදු විය.

සිය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා යුද්ධයෙන් අනාථ වූ හෝ අවශ්‍යතා සහිත දරුවන් අතරින් තෝරාගත් පිරිසකට සහාය වීම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල විසින් 1996 අපේ‍්‍රල් මාසයේදී ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කරනු ලැබිණි. එහි මධ්‍යම සහ දිගු කාලීන අරමුණ වූයේ සිය අනාගතය සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසෙන සේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හෝ කුසලතා සංවර්ධනය කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමය.